Showing posts with label 13. Show all posts
Showing posts with label 13. Show all posts

Monday, August 22, 2011

දහතුන් වන කොටස

ක්ෂිතිජ ගයාන් එක්ක වෙනදාටත් වඩා වැඩි ඕනකමකින් පියල් සර්ගේ පංතියට ආවා. සුයරිව දැක ගැනීමේ ආශාව සතියෙන් සතිය ක්ෂිතිජගේ හිතේ ලියලන්න වුණා.
´´ කෝ මචං තාම නෑනේ... `` ක්ෂතිජ ගයාන්ට කිව්වේ ඉවසගෙන ඉදන් බැරිම තැන.
´´ පියල් සර් වේලාවට එයි බං... `` ගයාන් ඇඟට පතට නොදැනෙන්න කිව්වා.
´´ පියල් කාරයා නෙවෙයි යකෝ... සයුරි තාම නෑනේ....`` ක්ෂිතිජ කිව්වේ ගයාන්ගේ ඉණට අතින් අනින ගමන්.
´´ හහ් හා හා.. ඉවසපං පපුව ඉවසපං.. උඹේ සිහින කුමාරි.. වේලාවට වඩීවී.... ``
´´ අනේ පලයං.. යන්න.. ``
සයුරි කෙසේ වෙතත් තඩි චරිත් නම් ඈත එනවා ක්ෂිතිජ දැක්කා.
´´ මංගලම් ජය මංගලම්... වේවා.. ක්ෂිතිජට මංගලම්.. `` චරිත් පංතියට ගොඩ උනේ එහෙම කියාගෙන.
මූට මොන දිව්‍ය ඥාණය තියෙනවද දන්නෙ නෑ. ඉවෙන් වගේ ඔක්කෝම දැනෙන්න... ක්ෂිතිජ තමන්ටම කියා ගත්තා.
´´ ෂික්.. යකෝ කෑගහන්න එපා.. අනිත් කෙල්ලොන්ට ඇහුණොත් මෙතැනම හනිමුන් ඩ්‍රීම් එක සුන් කර ගන්න වෙනවා..``
සයුරි ලක්ෂිකා එක්ක බර කථාවක් දා ගෙන පංතිය පැත්තට ආවා.
´´ බලන් ඉන්නෙ නැතුව ගුඩ් මෝනිනං කියපං ``
ගයාන් යාලුවාට පොඩි ගයිඩ් එකක් දුන්නා.
´´ වැඩේ නෝන්ඩි වෙයිද ? ``
´´ කියලා බලපං කෝ...``
දැන් කට්ටිය ළග ළගම එනවා. ක්ෂිතිජ ගොඩට ගත්ත මාලුවා වගේ ගැහෙන්න පටන් අරන්.
´´ මොකෝ බං ගැහැන්නේ... මෙතැන කොල්ලා උඹ කියලා අමතක කරන්න එපා.. `` ගයාන් ක්ෂිතිජගේ කණට කෙඳුරුවා.
´´ ගුඩ්.... මෝනිං...... ``
´´ හායි ගුඩ් මෝනිං... දෙන්නටම... `` උත්තර දුන්නේ ලක්ෂිකා.
´´ මොකද අද දෙන්නා පරක්කු... `` ගයානුත් කථාවට සෙට් උණා.
´´ අනේ අද තාත්තා ආවේ නෑනේ.. ඉතිං මං සයුරිට අපේ ගෙදරට එන්න කිව්වා.. `` ලක්ෂිකා හිනා වෙවී ගයාන්ට උත්තර දුන්නා.
´´ හෙට විභාගෙට ලෑස්තිද ? `` ගයානුත් අරින්නෙ නෑ.
´´ දහම් පාසල් විභාගෙද ? ``
´´ ඔව්.. පාඩම් කලාද ? ``
´´ පාඩම් නං කලා.. ඒ වුණාට ෆිට් නෑ... ``
´´ හා. කියන්න අමතක උනා... ඔය දෙන්න කැමැති නං අලුත් විද්‍යාව පංතියක් තියෙනවා... එන්න මාරෙට උගන්නනවා... `` ක්ෂිතිජ කිව්වේ සයුරි දිහා බලන ගමන්.
´´ කොහෙද තියෙන්නෙ.. `` සයුරි ඇහුවේ ලක්ෂිකා ගේ මුහුණ දිහා බලාගෙන.
´´ අනේ මාත් විද්‍යාව පංතියක් හොය හොයා හිටියේ...`` ලක්ෂිකාත් උත්තර දුන්නා.
´´ මටත් විද්‍යාව නං අමාරුයි..`` සයුරි කිව්වේ පොඩි එකෙක් කියනවා වගේ.
දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනවලු... ක්ෂිතිජ එක පාරටම අහස දිහා බලාගෙන හිතින්ම ´´ තෑන්ක්ස් ගෝඩ් `` කිව්වා.
´´ පංතිය තියෙන්නෙ නං මේ ළග... පහළ ඩික්සන් රෝඩ් එකේ... උගන්නන්නේ ඕල්කට් එකේ.. මිස් කෙනෙක්... සිරාවට උගන්වනවා... `` ක්ෂිතිජ කියාගෙන කියාගෙන යනවා.
´´ ඇයි සිරාවට විතරද උගන්වන්නේ ධමණියට උගන්නන්නෙ නැද්ද `` ලක්ෂිකා අහපු විදිහට සයුරිට හොදටම හිනා.
´´ නෑ.. එහෙම එකක් නෑ.. හැබැයි.. ගාණ දෙසිය පණහයි... `` ක්ෂිතිජ නෝන්ඩිය මැඩගෙනම කිව්වා.
´´ අපෝ ගාන වැඩියි නේ.. ඒ ලෙවල් ක්ලාස් වල ගණන්නේ... `` සයුරි කිව්ව කථාවට වැඩිපුර කලබල උනේ ක්ෂිතිජ.
´´ ඒ උනාට මාරෙට උගන්වනවා.. එක දවසක් ඇවිත් බලන්න... රුපියල් දෙසිය පණහ පාඩු නෑ.. කියලා හිතෙයි... `` ගයාන් පටස් ගාලා කිව්වේ යාලුවා මේ පාර ඇණ ගන්න හින්දයි.
´´ හරි හරි අපි එන්නම් නේද සයුරි... බායි.... `` ලක්ෂිකා සයුරිවත් ඇදගෙන පංතිය ඇතුළට ගියා.
´´ අම්මෝ... එළොව ගිහින් මෙලොව ආවා වගේ.. මාර කටවල් දෙකක්නෙ බං... ``
´´ ඔව් බං.. ලක්ෂිකා පංසලේදීවත් ඔච්චර මාත් එක්ක කථා කර කර ඉදලා නෑ... වෙනදට තාත්තා පස්සෙන්මයි නේ...
´´ ඔන්න උඹටත් මම හින්ද චාන්ස් එක.. ඒක නෙවෙයි බං.. මුන් දෙන්න පංතියට ඒවිද ``
´´ ෂුවර් එනවා.... ``
´´ උඹ ෂුවර් කරලා කියන්නෙ කොහොමද  ... `` ක්ෂිතිජ ඇහුවේ හිතේ තියෙන දෙගිඩියාව නැති කර ගන්න.
´´ මේකනේ මචං... වැරදිලාවත් උන් නාවොත් රුපියල් දෙසිය පණහ නිසා නාවා කියලා අපි හිතයි කියලා උන් හිතනවා... එහෙම නෝන්ඩි වෙන්න කෙල්ලො කැමැති නෑ බං... ``
´´ ආ.. උඹ නං එළ කොල්ලෙක් නේ... කොහොමද බං ගෑණුන්ගේ හිත් ගැන ඔච්චර හොදට දන්නේ.. ``
´´ යකෝ අපේ ගෙදරත් අක්කලා තුන් දෙනෙක්ම ඉන්නවනේ.. උන් හැරෙන කොට ඒ නිසා මම දන්නවා... ආ.. ඒක නෙවෙයි.. අද සයුරිත් එක්ක කථා කරපු ෆිට් එකට උඹ ගානේ හවසට තේ අරන් ඕන... අර ගෙදර යනකොට තියෙන බේකරිය ගාවින්....``
´´ අපෝ...තොපි.. නං....ආ.. අන්න ... පියල් සර්.. එනවා... යමං පංතිය ඇතුළට.. ``
ක්ෂිතිජ ගයානුත් එක්ක පංතියට ගියේ වෙනදටත් වැඩියෙන් හරි සතුටින් කියලා ගයාන්ට හිතුණා.
**********
ලබන සතියේ (2011.08.29) තවත් කොටසක් කියවන්න


(සියලු හිමිකම් ඇවිරිණි.) සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ-2011. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඕනෑම මාධ්‍යක නැවත පළ කිරීම, මුද්‍රණය සඳහා කරුණාකර කතෘ අමතන්න. දුර. 0773-951015


PDF VERSION DOWNLOAD: http://www.mediafire.com/file/
yivydd2og1ryczw/sith%20gawa%20oba%20inna_%202011_08_22.pdf