Showing posts with label 14. Show all posts
Showing posts with label 14. Show all posts

Monday, August 29, 2011

දහ හතර වන කොටස

වෙනදා තරම් නොවුණත් ක්ෂිතිජ ඉස්කෝලෙට ආවේ ටිකක් පරක්කු වෙලා.  පංතියට එනකොට කොල්ලෝ සේරම වගේ පංතියට ඇවිත් හිටියා.
´´ මචං අද අනිත් පැත්තෙන් වත් ඉර පායන වද ? උඹලා සේරම ඇවිල්ලා නේ... මොකෝ සීන් එක...``
´´ ආ.... උඹ බබා... දන්නෙම නෑ... අලුත් කිටක් මරලා ඇවිත් අපෙන් අහනවා... අනේ පලයං යන්න ``
´´ අනේ කියපං බං... සිරාවටම මම දන්නෙ නෑ..``
´´ ඇයි බං රංගොජෝ අද කොන්වන්ට් එකේ ආර්ට් ඩේ එකනේ... අපිව ගෙනියනවලු.... ``
´´ එළ නේ බං... මචං... ගයියා ව දැක්කෙ නැද්ද ? ``
´´ ඔන්න කැන්ටිම පැත්තට ඇද්දා..උඹ ආවොත් එන්න කිව්වා...``
´´ ඕකේ මචං.. තෑන්ක්ස්... අපි කැපුණා... ``
ක්ෂිතිජ කැන්ටිම පැත්තට ගියේ ගයාන් ව මුණ ගැහෙන්න. පඩි පෙල බැහැගෙන කැන්ටිම පැත්තට යනකොට  ගයාන් කිඹුලා බනිස් එකක් කකා ප්ලෙන්ටි පාරක් ඇද ගෙන හිටියා.
´´ අඩෝ පැණියා.. වරෙන් වරෙන්.. කිඹුලෙක්ගේ රස බලන්න..``
´´ ඇයි අද උඹ මට අරන් දෙනවද ? ``
´´ අරන් දෙනවා... අරන් දෙනවා... මම අරන් දෙනවා.. උඹ සල්ලි ගෙවනවා..... ``
´´ ඔය ඉතින් කිව්වේ.. ඒක නෙවෙයි බං අද කොන්වන්ට් යනවලු නේද... ? ``
´´ ඔව් බං.. මට ලක්ෂිකා බලන්න පු෾එවන්.. උඹට.. සයුරි බලන්න පු෾එවන්... පික්සු හැදෙනවා නේ .. ``
´´ මොකක්ද බං.. පික්සු කියන්නේ... `` ක්ෂිතිජ ෆුල් නන්නත්තාර වෙලා ඇහුවා.
´´ පික්සු කියන්නේ පිස්සු එකේ වර්ගෙට... පිස්සු ත්‍රිබල් වුණාට පස්සේ හැදෙන්නේ පික්සු...දැන් තේරුණයි...``
´´ එහෙමයි.. සර්.. තේරුණා..``
´´ දැන් යමුද.. අරුන් දැනටමත් ගිහිල්ලත් ඇති..``
´´ උන්ට තදියන් උනාට සිංහල මිස් එනකන් ඉන්න වෙනවා...``
´´ හැබැයි පුතෝ උඹ සයුරි ට ඇහැ දාපං චන්ද්‍රිකා මිස්ට පෙන්නෙ නැතුව... නැත්තං ඒ ප්‍රේම රාජ්‍ය කඩා වැටුණොත් අපිටත් සිංහල පීරියඩ් එකේ පෝරියල් කන්න වෙනවා...``
´´ එහෙම එකක් නෑ බං.. මිස් මට හරි හිතවත්.. එච්චරයි...``
´´ අනේ බං.. මේ.. අපි දන්නවා.. ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා..``
යාලුවො දෙන්න පඩි පෙල නැගලා පංතියට ගොඩ උනා. චන්ද්‍රිකා මිස් පංතියට ඇවිත් බර දේශනාවක් දෙන්න පටන් අරන් තිබුණා.
´´ ආ... මං බැලුවා.. මොකද මේ දෙන්න පේන්න නැත්තෙ කියලා... මොකෝ කොන්වන්ට් යන්න ආසාවක් නැතෙයි...`` චන්ද්‍රිකා මිස් පල් එකට ඇහුවා.
´´ මිස් මුන් දෙන්න අද සිල් අරන්...  කිළි වදින්න හොඳ නෑලු...`` එකෙක් කෑගහුවා. ගයාන් පොර දිහා රවලා බලනවා මිස් දැක්කා.
´´ හා.. හා... මං කිය කියා හිටියේ.. පිට ඉස්කෝලෙකට ගිහින් තමන්ගෙත්... පාසලෙත්.. මගෙත් ගෞරවේ ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕන.. ඒ වගේම ... කිසි කෙනෙක් ඒ වැඩසටහන ඉවර වෙනකං.. පිට පනින්න බෑ.. ගියා වගේම ආපහු මං එක්කම පංතියට එන්න ඕනෙ.. හරිද... ඔය දෙන්නටත් පැහැදිලිද...``
´´ ඔව් මිස්...``
´´ හරි. දැන් දෙන්න දෙන්නා පෝලිං ගැහෙන්න...``
´´ මිස් අපි බාලාංශෙ නෙවෙයි...`` තව එකෙක් කෑ ගැහුවා.
´´ ඒ වුණාට කරන්නෙ බාලාංශෙ වැඩ නේ....`` මිසුත් අරින්නෙ නෑ.
´´ අපෝ.. ඇදගෙන නා ගන්නවා නේ බං... `` පේලිය පිටිපස්සෙන් කියපු එකාට රිටන් එක ලැබෙනවා ක්ෂිතිජට ඇහුණා.
සයුරිව ගණන් පංතියට කලින් දැක ගැනීමේ ආසාව ක්ෂිතිජගේ හිතේ ලියලලා තිබුණා. ඒ පුංචි අහිංසක මුණ ආපහු දැක ගන්න තියෙනවා නං කොච්චර හොඳ ද කියලා හිතුණා. ඇස් දෙක වගෙන ඒ රූපෙ මවා ගන්න ක්ෂිතිජ උත්සහ කරා.
´´ මොකෝ දවල් හීන බලනවා ද බං... `` ගයාන් ක්ෂිතිජගේ කණට ලං කරලා අහනකොටම ක්ෂිතිජ ගැස්සිලා ගියා.
´´ නෑ....`` ක්ෂිතිජ ගාණක් නැතුව උත්තර දුන්නා.
කොල්ලො ටික කොන්වන්ට් එකේ දොරකඩ ගාවට ලං උණා. ඇතුල් වෙන තැන ලස්සනට සරසලා පොඩි තොරණක් ගහලා තිබුණා ´´ සිරිහද පැහැසරණී `` කියලා. අක්කලා දෙන්නෙක් මිස් කෙනෙක් එක්ක ක්ෂිතිජලව පිළි අරගත්තා. එක අක්කා කෙනෙක් ගයාන් ගේ අක්කා පංතියේ යාලුවෙක් කියලා ක්ෂිතිජ අඳුන ගත්තෙ ගයාන් අත වනපු විදියෙන්. කොරිඩෝව දිගේ හෝල් එක පැත්තට ගියපු කොල්ලො ටික දිහා පුංචි නංගිලා සෙට් එකක් බලන් ඉන්නවා රුචිර දැක්කා.
´´ ඒ මචං.. අපි සත්තු වත්ත බලන්න ආවා වගේනේ බං.. ``
´´ කට වහගෙන යමං.. කාඩ් කුඩු කර ගන්නෙ නැතුව``
හෝල් එකට ඇතුල් වෙන තැන ලොකු තදබදයක් තිබුණා. පිට ඉස්කෝල පහක් විතර ඇවිත් තිබුණ නිසා ළමයිව ඇතුළට ගත්තෙ වෙන වෙනම.
´´ මචං මේ මැද්දේ සයුරියි.. ලක්ෂිකයි.. හොයන එක නං ලේසි වැඩක් නෙවෙයි..``
´´ කලබල නොවී හිටපං කෝ..``
ක්ෂිතිජලට වාඩි වෙන්න ලැබුණෙ හෝල් එකේ පිටිපස්සට වෙන්න. ආපු පිළිවෙලට කට්ටිය ඇතුල් කර ගත්ත නිසා එහෙම වෙන්න ඇතියි කියලා ක්ෂිතිජට හිතුණා. ගයාන් සැටලයිට් එක වටේටම කැරකුවේ සයුරි හරි..ලක්ෂිකා හරි දකින්න නිසයි...
´´ ආයුබෝවන්.. පැහැ සරණිය .. වන රමණිය.. විටින් විට......`` වැඩසටහන පටන් ගත්තා. ක්ෂිතිජ ඔලුව තිබුණෙ ස්ටේජ් එක දිහා නෙවෙයි කියලා චන්ද්‍රිකා මිස්ට තේරිලා වගේ මූණ අමුතු කර ගෙන බලන් ඉන්නවා ගයාන් දැක්කා. ගයාන් ක්ෂිතිජට වැල මිටින් ඇන්නා.
´´ අරකි බලන් ඉන්නවා.. ෂේප් එකේ බලපං...``
´´ කවුද සයුරි ද... `` ක්ෂිතිජ ඇහුවේ පුදුම සතුටකින්.
´´ සයුරි නෙවෙයි... සිංහල භාණ්ඩේ... බලාගෙන.. චාටර් කර ගන්න එපා.. ``
ක්ෂිතිජගේ බලාපොරොත්තු හැම එක්කම සුන් වුණා වගේ දැණුනා.
පෙරුම් පුරාගෙන අද ආපු මේ ගමනින් කිසිම ප්‍රගතියක් නෑ කියලා හිතෙන කොටම වේදිකාව පැත්තෙන් සිංහබාහු නාට්‍යයේ සිංදුවක් ඇහෙන්න පටන් ගත්තා.
´´ ගල්ලෙන බිඳලා.. ලෙන් දොර ඇරලා.. සිංහ බා.... සිංහ බා......... සිංහ බා... `` මේ කලා උළෙලෙ ප්‍රධාන ආරාධිත දේශනාව තිබුණේ සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන න෾එවාට කියලා වේදිකාවෙන් ඇහෙණවා ක්ෂිතිජට ඇහුණෙ හීනෙන් වගේ. ක්ෂිතිජගේ හිත ලොකු දුරක් ඒ වෙනකොට ගිහින් තිබුණා.
´´ ඒයි ඉන්ටවල් එක... ``
´´ මට මොකෝ....`` ක්ෂිතිජ උත්තර දුන්නෙ ඕනවට එපාවට වගේ.
ටික වේලාවක් ගත උණා. මාලුපාන් එකකුයි...කේක් කෑල්ලක් එක්ක කිරි පැකට් එකක් හැම දෙනාටම ලැබුණා. ක්ෂිතිජට අද කන්න ආසාවක් තිබුණෙ නෑ. ක්ෂිතිජගේ මාලු පාන් එකටත් වැඩේ දුන්නේ ගයාන්.
´´ අඩෝ අර බලපං.. කවුද සුවිනියර්ස් බෙදන්නෙ කියලා..`` ගයාන් ක්ෂිතිජට අතින් අනින ගමන් කිව්වා.
සයුරියි.. ලක්ෂිකායි.. තව ගෑණු ළමයි දෙන්නකුයි.. සුවිනියර් බෙදනවා. ක්ෂිතිජගේ ඇස් දෙක සන්තෝසෙන් දිලිසෙනවා ගයාන් දැක්කා.
´´ මචං අපේ පේලියට සුවිනියර් දෙන්නෙ සයුරි... ලක්ෂිකා අනිත් පැත්තෙ...``
´´ හ්ම්..``
පේලි හතරකට වාඩි කරලා තිබුණු නිසා සයුරිව අහුවුණේ ක්ෂිතිජලගේ පේලියට. ටිකෙන් ටික සයුරි ක්ෂිතිජල වාඩි වෙලා හිටපු හරියට ලං උණා. සයුරි බිම බලාගෙනමයි සුවිනියර් ටික පාස් කරන්නෙ.
´´ තෑන්ක්ස් සයුරි.. `` ක්ෂිතිජ සුවිනියර් එක ගන්න ගමන් කිව්වා. එක පාරටම තමන්ගේ නම ඇහුණ නිසාද කොහෙද සයුරි ගැස්සිලා ඔලුවා උස්සලා ක්ෂිතිජ දිහා බැලුවා. ක්ෂිතිජගෙත් සයුරිගෙත් ඇස් දෙක එකට මුණ ගැහුණා. සංසාරේ කොහේදෝ හරි මුණ ගැහිලා තියෙන බවක් ක්ෂිතිජට ඒ තප්පරය තුළ දැනුනා. සයුරි ලස්සන අහිංසක හිනාවකින් ක්ෂිතිජ දිහා බැලුවා.
´´ ෂ්..ෂ්..`` ගයාන් ලක්ෂිකාට ෂු පාරක් දැම්මා. ඒත් කොල්ලො ගොඩක් හිටපු නිසා ලක්ෂිකා හැරිලා බැලුවේ නැත්තෙ කොල්ලො ඉන්න තැන්වල ඕවා සාමාන්‍ය දේවල් නිසා.
´´ ලක්ෂිකා..`` ගයාන් වැඩි සද්දයක් නැතිව ලා වට ඇහෙන්න කිව්වා.
ලක්ෂිකා එක පාරටම හැරුණා.
´´ හායි.. ගයාන්... `` එහෙම කියලා අත වනලා ආපහු සුවිනියර් බෙදන්න පටන් ගත්තා.
**********
ලබන සතියේ (2011.09.05) තවත් කොටසක් කියවන්න
(සියලු හිමිකම් ඇවිරිණි.) සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ-2011. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඕනෑම මාධ්‍යක නැවත පළ කිරීම, මුද්‍රණය සඳහා කරුණාකර කතෘ අමතන්න. දුර. 0773-951015