´´ ඇයි මචං... `` ක්ෂිතිජ කසුන් ගෙන් ඇහුවේ දුවන ගමන්.
´´ පොලිස් කාරයින්ට ඉව වැටිලා .. පංති චෙක් කරනවාලු.. `` කසුන් හති දම දම බොහොම අමාරුවෙන් කිව්වා.
´´ අප්පට සිරි.. කෙල වෙයිද දන්නෙ නෑ ``
´´ ගුටි කෑවත් මොකද බං... බත් කාලා``
ක්ෂිතිජලගේ ඉස්කෝලේ ගාව ඉඳන් මුස්ලිම් පල්ලියට තිබුණේ මීටර් දෙසීයක වගේ දුරක්. ඉස්කොලේ ගාවින්ම වැටිලා තිබුණු පාර දිගේ කෙලින්ම ගිහින් කුණු ඇලෙන් එගොඩ වුණාම මුස්ලිම් පල්ලිය හොඳට පේනවා. ක්ෂිතිජ යන කොට අනිත් උන් පාරේ හැමතැනම සෙට් වෙලා හිටියා. දුර ඉඳන් ගයාන් ක්ෂිතිජට අත වැනුවේ ඉස්සරහට එන්න කියලා සිග්නල් එක දෙන ගමන්.
´´ උඹලා මොකද එළියේ ``
´´ තාම ඇතුළට ගත්තේ නෑ බං... උන්ගේ ආගම කියලා ඉවර වෙනකන් ඉන්න ඕන නේ..``
´´ කෝ සාහිර්..``
´´ ඌ අන්න ඇතුළට ගියා.. අපිට ප්ලෙස් එකක් බලන්න``
´´ මචං.. කසුන් කෝ...``
´´ කයිටා.. මෙහෙට වරෙන්..``
´´ උඹේ වැඩි කෑල්ල.. සම්ජේදනය කරලද ඉන්නේ...``
´´ ඒ .. කියන්නේ `` කසුන් ෆුල් අප්සෙට් ගහලා ඇහුවා.
´´ ගයාන් අහන්නේ උඹේ අසවල් එක කපලා ද කියලා ``
´´ ඇයි බං``
´´ නෑ මුන් කන්න දෙන්නෙ කපපු උන්ට විතර ලු``
´´ හුටා.. ඉතිං දැන් උඹලාගේ කපලද?``
´´ තාම නෑ.. අපි මේ පෝලිමේ ඉන්නේ ඒ වැඩේට..`` ගයාන් ගානට කසුන්ව අන්දනවා.
´´ මචං.. මං නිරංජන්ලත් එක්ක එන්නම්.. උඹලා අපිටත් එක්ක තැනක් සෙට් කර ගනින්කෝ..``
කසුන්ට නිරංජන්ලත් එක්ක සෙට් වෙනවට වඩා, හොදටම බය වෙච්ච එක තමයි ඔහොම කියන්න හේතුව කියලා යාඑවො දෙන්නටම තේරුණා.
´´ හරි.. හරි.. යමං යමං.. පරක්කු වෙන්න බෑ..`` කඩා ගෙන බිඳගෙන ආපු සාහිර් ක්ෂිතිජලගේ අතින් ඇදගෙන දුවන්න පටන් ගත්තා. තැන් තැන් වල කට්ටිය ගොඩ දෙනෙක් බිම රවුමට වාඩිවෙලා හිටියා. එතැන හිටපු ගොඩක් අය මුස්ලම් කට්ටිය කියලා බැලූ බැල්මට පෙනුනා.
´´ ටක් ගාලා හයක් සෙට් කර ගනින් ``
´´ ඇයි බං හයක් ``
´´ යකෝ ඕක උඹටයි මටයි විතරක් කන්න බෑ, පට්ට ලොකුයි``
´´ ඒ කයිටා, නිරා, ඇන්ජි වරෙන්``
´´ හරිනේ දැන් හය කම්පීලීට්..``
´´රවුමට වාඩිවෙයල්ල.. පිළිවෙලට හිටපන්.. බිම හීරන්න එපා.. අත් දෙකින් අනන්න එපා.. පරක්කු වෙන්න බෑ.. කාපු ගමන් මාරු උනා.. හරිද?`` සාහිර් එක හුස්මට උපදෙස් මාලාවක් කියවගෙන යනවා.
මුලින්ම ලොකු බුරියානි බත් බන්දේසියක් ගෙනාවා. ඒක හය දෙනෙකුට කෙසේ වෙතත් දහ දෙනෙකුට විතර ඇතිවෙයි කියලා ඇන්ජිලෝ ට හිතුණා. ඊළඟට ගෙනාවේ රෝස් කරපු කුකුලෙක්.
´´ ඉක්මන් කරපන්... වැඩි වෙලාවක් නෑ..`` සාහිර් කන්න කියලා සිග්නල් එක දුන්නා විතරයි කට්ටිය ඇදලා ගත්තේ කුකුලාව. ඇදපු ඇදිල්ලට කුකුල දෙකට කැඩුණා. සාහිර් ඇස් දෙක උඩ දාගෙන බලන් හිටියේ මුන්ගේ තියෙන මල පෙරේතකම කියලා හිතින් බැණ බැණ.
´´ ඉක්මනට කාපන්.. නැත්තම් උඹට මස් කෑල්ලක් තියා.. කටු කෑල්ලක් ඉතිරි වෙන්නෙ නෑ...`` ගයාන් සාහිර් ට කිව්වෙ කුකුල් අඩුවක් කන ගමන්.
´´ ඔය බත් ටිකත් දාගනින්.. ඕව ඉතිරි කරන්න බෑ.. පව් සිද්ධ වෙනවා...``
කට්ටිය එක හුස්මට මැෂින් අඹරනවා. ක්ෂිතිජ ටිකක් ඔලුව උස්සලා බැලුවේ අනිත් උන් ඇවිල්ලද කියලා. අනිත් කොල්ලොත් ඔලු ටික පහත් කරගෙන රේස් එකට බත් කනවා වගේ කාගෙ කාගෙන යනවා. සමහරු අත් දෙකින්ම බත් අණනවා. සාහිරුත් මෙතැන හිටියේ නැත්තම් අපිත් ඔය වගේ තමයි කියලා හිතෙන කොට ක්ෂිතිජගේ කටට පුංචි හිනාවක් ගියා.
´´ උඹ අනිමිසි ලෝඡන පූජා කරන කොට අපි.. දෙවැනි වටේ යන්න හදන්නේ.. කාපං`` ගයාන් ක්ෂිතිජගේ බෙල්ලෙන් අල්ලලා ඇතුළට ඔබා ගත්තා.
´´ මල්ලිලා හරක් මස් කනවා ද ? `` පල්ලියේ වැඩ කරන අයියා කෙනෙක් ඇවිත් අහනවා.
´´ ගේන්න ගේන්න අයියේ අපි මිනී මස් ඇර ඕන මසක් කනවා `` කසුන් මස් කට්ටක් හපන ගමන් කිව්වා.
´´ යකෝ මගෙ කාඩ් එක කන්න එපා.. ටිකක් ඩිසිපිලින් පෙන්නපං..`` සාහීර්ට මල පැනලා.
´´ කන වෙලාවට මොන ඩිසිපිලින් ද බං.. පලයන් බං යන්න..``
මස් බිස්ටෙක් කරලා ලොකු භාජනයකුත් තව මොනවද තියන භාජනයකුත් අරන් අර අයියා ආපහු ක්ෂිතිජල ඉන්න තැනට ආවා.
´´ මචං මේකේ මොනවද ?``
´´ මේක පුඩිං වර්ගයක්... බත් කාලා කාපන්``
´´ ක්ෂිතිජ මොකෝ .. උඹට ඇති ද? ``
´´ ඇති බං.. බඩ ෆුල්``
අර කෑම ගැන අහපු අයියා බොහොම කලබලෙන් ක්ෂිතිජලගේ පැත්තට දුවගෙන එනවා කට්ටිය දැක්කා.
´´ මල්ලි.. මල්ලි.. ලොකු අප්සෙට් එකක්``
´´ ඇයි අයියේ..``
´´ කවුද සර්ලා කට්ටියක් ඔයාලා එනකන් පහළ ගේට්ටුව ගාව බලන් ඉන්නවා...``
´´ හුටා..`` කටට ගත්තා බත් කට ස්ටොප් කරන ගමන් සාහිර් ට කියවුණා.
´´ මල්ලි මං යනවා අනිත් අයට කියන්න``
´´ හරි හරි අයියේ තෑන්ක්ස්``
´´ මචං ක්ෂිතිජ.. ටිකක් ගේට්ටුව ගාවට ගිහින් බලං වරෙන් මොකාද ඇවිත් ඉන්න ග්‍රහයා කියලා``
හැමදාම මද්දුම බණ්ඩාර චරිතෙ එදත් පුරුදු විදියටම කරන්න උනේ ක්ෂිතිජට. ගේට්ටුව ගාවට ලං වෙනකොටම ක්ෂිතිජ දැක්කා මස් වැද්දයි.. කසිප්පුවයි.. පොලිස්කාරයෝ දහ දෙනෙකුයි ගේට්ටුව ගාව වට කරගෙන ඉන්නවා.
´´ මල **** තමයි වෙන්නේ `` ක්ෂිතිජ තමන්ටම කියා ගත්තා.
ක්ෂිතිජ ටාර් ගාලා එතනින් කැපුණේ යාඑවෝ ටිකට සීන් එක කියන්න.
´´ මචං මස්වැද්දයි, කසිප්පුවයි දෙන්නම ඇවිත්``
´´ හපොයි.. ඩෙසට් එක කෑවෙත් නෑනේ බං.. මුන් කලින්ම ඇවිල්ලා නේ `` නිරංජන් මූණ බුරියානි කරගෙන කිව්වා.
´´ උන් ඇවිත් තියන්නේ බොට ඩෙසට් එක කවන්න...`` ගයියා ට මල පැනලා.
´´ වේලාවක් නෑ... සාහිර් උඹේ රූල් එක කඩන්න වෙනවා... මචං ඔය පුඩිම හලපං බත් එකට...``
´´ බත් එකට.. පුඩිං..?``
´´ නැත්නම් කන්න වෙන්නෙ නෑ යකෝ...``
නිරංජන් එක පාරටම බත් එකට පුඩිං එක හැලුවා. දෙපාරක් බලන්නේ නැතුව ගයාන් අත් දෙකින්ම පුඩිං එක බුරියානි එකට මික්ස් කරා. කට්ටිය එකසිය ගාණට ස්පීඩ් එක වැඩි කරලා කන්න පටන් ගත්තා.
´´ උන් ඇත්තේ අපි කාලා ඉවර වෙනකන්``
´´අරුන් අර කොහෙද දුවන්නේ..``
´´ පල්ලියේ පිටිපස්සෙ පොඩි ගේට්ටුවක් තියෙනවා.. ඒක වැටෙන්නේ රිච්මන්ඩ් හිල් පාරට... අපිත් මේක දාලා දැන් යං``
´´ මල්ලිලා පිටිපස්සේ ගේට්ටුව යූස් කරන්න.. බත් ඉතුරු උණාට අවුලක් නෑ..``
අර අයියා ෆුල් බකප් එක දෙනවා.
´´ තෑන්ක්ස් අයියේ... පිං පිං``
´´ ඔය ඇති දැන් යමං..``
´´ මචං අත් දෙක හෝදගත්තෙ නෑනේ``
´´ දැන් උඹ කෑවෙත් අත් හෝදගෙන ද? අරුන් එන්න කලින් යමං``
ඉඳුල් අත් පිටින්ම ක්ෂිතිජලා පල්ලියේ පිටිපස්සේ ගේට්ටුව ගාවට දුවන්න පටන් ගත්තා. කෙහෙල් ගස් පෙරළ ගෙන අසූ මහ මාර සේනාව ළග එන කොට දුවන්න දිවිල්ලට වැඩියෙන් කොල්ලෝ සේරම එක පිම්මට දුවනවා.
´´ මචං ගේට්ටුව ගාව රශ් එක වැඩියි.. තාප්පෙන් පනිමුද ?``
´´ අනේ මචං .. එතකොට මං``
´´ ඒක තමයි කියලා තියෙන්නේ උඹට ඕවා ටිකක් පුරුදු වෙන්නැයි කියලා.. දැන් ඉතිං කෙලවා ගන්නවා නේ...``
´´ හරි මමයි කයිටයි මුලින් පනින්නං.. උඹලා මූව නග්ගපං..``
´´ හරි හරි මං ඉන්නවානේ`´ ගයාන් යාලුවා වෙනුවෙන් වැඩේ භාර ගත්තා.
සාහීරුයි කසුන් එක්ක මුලින් පැන්නා.
´´ දැන් ඉතිං එල්ලියන් තාප්පේ ``
ක්ෂිතිජ පොඩි ට්‍රයි එකක් දැම්මා. නිරංජන් එක්ක ගයාන් ක්ෂිතිජගේ යටින් අල්ලලා එහා පැත්තට පැන ගන්න සපෝට් කරා.
´´ අපෝ.. මරණේ.. නැගපං.. නාකි බල්ලෝ මීට වඩා ඉක්මනට නගිනවා.``
තාප්පෙ උඩට බඩගාපු පාර ක්ෂිතිජගේ ෂර්ට් එකේ බොත්තම් වගයකුත් ගැලවිලා. සුදුපාට කලිසමේ ගඩොල් පාරවල් හැමතැනම. හරියට යුද්ධෙට ගිහින් වගේ.
´´ දැන් ඉතිං පැනපං පහළට..``
´´ අනේ බයයි බං``
´´ පැනපං..`` ගයාන් පැන්නේ ක්ෂිතිජගේ අතිනුත් ඇදගෙන. අඩි හයක් විතර උස තාප්පෙන් පැනපු පැනිල්ලට ක්ෂිතිජගේ කකුලත් මොකක්ද උණා වගේ කියලා දැණුනා.
´´ දැන් කොහෙටද යන්නේ.. මේ පැත්තට ගියොත් අහු වෙනවා``
´´ ක්ෂිතිජලගේ ගෙදර යං``
´´ කවුද මේ වෙලාවට ගෙදර ඉන්නේ ``
´´ ආච්චි විතරයි..``
´´ ආච්චි ඇහුවොත් මොකද කියන්නේ ?``
´´ මොකක් හරි කියලා ෂේප් වෙමු බං.. දුවමුද ?``
කට්ටිය පාර දිගේ එක හුස්මට තියෙන හැම ෂෝට් කට් එකකින්ම ක්ෂිතිජලගේ ගෙදර බලා දුවන්න පටන් ගත්තා.
´´ යකෝ මේ දුවන දිවිල්ල දැක්ක නං.. අපිව අර ගන්නවා ඔලිම්පික් වලට...``
´´ ඇයි ඔලිම්පික් වලට ගම හරහා දුවන්නද ?``
කට්ටිය ක්ෂිතිජලගේ ආච්චිව ෂේප් කරගෙන ගෙට ඇතුඑ උණා. ආච්චිව ගොඩ දාන වගකීම ගයාන් බාර ගත්තෙ ආච්චිගෙන් කවදත් ගයාන්ට ලකුණු තිබුණු හින්දයි.
**********
PDF File Download: http://www.mediafire.com/file/iwdk5qxoepuq5as/sithagawa%20oba%20inna_2011.07.04.pdf
