Wednesday, June 29, 2011

හය වන කොටස

සාහිර් දුන්නු නිවුස් එකේ හැටියට කොල්ලෝ සේරම දොළහයි හතලිස් පහ වෙන්න කලින්ම ඉස්කෝලේ ටොයිලට් පේලිය පිටිපස්සට සෙට් උනා. ක්ෂිතිජලගේ ඉස්කෝලේ ළඟ තියෙන මුස්ලිම් පල්ලියේ උත්සවයට හැම අවුරුද්දෙම දානයක් දෙනවා. මේ දානය කන්න ඉස්කෝලේ කොල්ලො සේරම සෙට් වෙන්නේ සෙපෙෂල් කෑම වේලක් ලැබෙන නිසයි.

´´ මචං ඉක්මන් කරමු ... පොලිස් කාරයෙක් දැක්කොත් ලෙඩේ ``

ක්ෂිතිජලා පොලිස්කාරයෝ කියලා නම් කරලා තිබුණේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ව. කොයි වේලාවෙත් හොරා පොලිස් කරන සෙල්ලම මේ අය කරන නිසා කොල්ලො සේරම ඒ ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් උණා.

´´ මම කලින් යනවා.. ගයාන් උඹත් මාත් එක්ක එනවද ? ක්ෂිතිජයට නිරංජන් එක්ක එන්න කියමු. මූට තාප්පෙන් පනින්නත් බෑනේ... ``

´´ හරි යමං.. මූට ඩෙස්ක් එකක් දාලා යමුද ?``

´´ ඕන නෑ බං අරුන් මූව දා ගනී ``

කොල්ලො එක එකා බැගින් තාප්පෙන් පනිනවා. තාප්පෙ අඩි පහක් විතර උස උණත් හිතේ තියෙන ඕනකමට ඒක සෙන්ටිමීටර් පහක් ගානටවත් කොල්ලො ටිකට දැණුනේ නෑ.

ගිය ආත්මේ මුන් රිළව් ද කොහෙද.. පනින්නමයි හිත... ක්ෂිතිජ තමන්ටම කියා ගත්තේ ක්ෂිතිජට තාප්පෙන් පනින්න බැරි හින්දයි.

´´ මචං නිරා.. ක්ෂිතිජය ව දා ගනිං...``

´´ හරි හරි.. උඹලා පලයං ``

´´ ඩී ක්ලාස් එකේ කොල්ලො එන්නෙ නැද්ද මචං ``

´´ නෑ බං.. ටික දෙනයි එන්නේ.. අනිත් උන් ගොට්ට අල්ලනවනේ``

´´ මචං ඇන්ජි... ඇන්ටා ගියාද ? ``

´´ නෑ ක්ෂිතිජ.. ඌ කයිටා එක්ක එන්න ගියා... ``

´´ බයිලා ගහන්නේ නැතිව දැන් යමුද ? තව පරක්කු උණොත් මස් කට්ටක්වත් ඉතිරි වෙන්නේ නෑ .. ක්ෂිතිජ නැගපං`` නිරංජන් කෑ ගැහුවා.

´´ ඇන්ජි.. උඹ නැගලා අත දීපං.. ``

ඇන්ජිලෝ තාප්පෙ උඩට නැග්ගා. නැගලා ක්ෂිතිජ දිහාවට අත දික් කලා. ක්ෂිතිජ ඇන්ජිගෙ අත අල්ලගෙන හැට පැනපු සීයා කෙනෙක් වගේ තාප්පෙ උඩට නැග්ගා. බැරි මරගාතේ තාප්පෙට නැග ගත්තට තාප්පෙන් බැහැ ගන්න බැරිව ක්ෂිතිජ වෙව්ලන්න පටන් ගත්තා.

´´ අනේ මචං .. මට නං බෑ.. ``

´´ ඇයි උඹේ කකුල් ගිටාර් ගහනවද ? `` එහෙම අහපු නිරංජන් එක පාරටම ක්ෂිතිජව තාප්පෙන් පහළට තල්ලු කලා.

හිතපු නැති වේලාවක තල්ලු කරපු නිසා ක්ෂිතිජ විසිවෙලා ගිහින් වැටුණා. අනිත් කොල්ලෝ සේරම එක පිම්මට තාප්පෙන් පැනලා පාර දිගේ දුවන්න පටන් ගත්තා.

´´ ක්ෂිතිජ .. දුව.. පාං.... `` කයිටා කෑ ගැහුවා.

**********

මීළඟ කොටස 2011-07-04 දින බලාපොරොත්තු වන්න

PDF Version : http://www.mediafire.com/file/svv9rlqsvv5bvks/sitha%20gawa%20oba%20inna_%202011.06.29.pdf



No comments:

Post a Comment