Monday, June 6, 2011

තුන්වන කොටස

´´ගයියා.. පට්ට බඩගිනියි බං... `` තේමිය බර බරේ දානවා ක්ෂිතිජට ඇහුණා.

´´ මටත් බඩගිනියි... ``

´´ යකෝ තාම අට හා මාර වුණා විතරයි, උඹලා මල පෙරේතයෝ නේ බං.... ඔච්චරම ආමාරු නං උඹලා දෙන්න ගිහින් කාලා වරෙන් .. මට බෑ... ``

´´ සාහීර් ... උඹ එනවද කැන්ටින් එක පැත්තෙ යන්න... `` ක්ෂිතිජ සාහීර් ගෙන් ඇහුවේ පිටිපස්සේ පේලිය දිහාවට හැරිලා.

´´ දැන් සර්කාරයා ඒවි ද දන්නෙ නෑ... ``

´´ ඒක ඒ වේලාවට බලාගමු බං...`` තේමියට බඩේ ගින්න දරුණුවටම වැදිලා. හත් අවුරුද්දකින් නොකාපු උන් ටිකක් ද කොහෙද කියලා හිතින් බැණ බැණම ගයානුත් නැගිට්ටේ අපායට ගියත් ක්ෂිතිජත් එක්කම හැමතැනම යන පුරුද්දට.

පංතියෙන් එළියට බැහැපු කට්ටියට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ. සුමනදාස සර් ඉස්සරහට එනවා සාහිර් කලින්ම දැක්කා.

´´ මලා .. අන්න හැලපයා එනවා... `` සාහීර් කට්ටියටම සිග්නල් එක දුන්නා.

´´ කොහෙද ඔය ළමයි යන්නෙ... දැන් ගණන් වේලාව නේද ? ``

´´ සර් අපිට වයිස් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා නේ ඔෆිස් එකට.. අපි ගිහින් එන්නද සර් ... `` තේමිය දෙකට තුනට නැමිලා සර්ගෙන් ඇහුවා.

´´ හා.. හා.. ගිහින් එන්න.. ``

´´තේමියට නම් ෂුවර් එකටම අපායේ සීට් එකක් ලැබෙනවා... කොහෙන්ද බං ඔය බොරුව කටට ආවේ.... `` ගයාන් ඇහුවා.

´´ ඒකට තමයි බං... ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ.... ``

´´ නෑ ඕකගේ අම්මා මුගේ කටේ ගාලා තියන්නේ රන් කිරි නෙමෙයි මුසාවාදා මහාරාජ තෛලය `` ක්ෂිතිජ එහෙම කියන කොට කට්ටියම මහ හයියෙන් හිනා වුණා.

ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ බාස්කට් බෝල් පිට්ටනිය ඉස්සරහමයි. කැන්ටිම කර ගෙන ගිය අන්කල් ලොකු කොල්ලොත් එක්ක මාර ෂේප්. වැඩිපුර බිස්නස් එන්නෙ ලොකු පංතිවල කොල්ලො නිසා කියලා අන්කල් දැනගෙන හිටියා. කඩේ වැඩට හිටියේ ක්ෂිතිජලට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් කොල්ලෙක්.

´´ මේ වෙලාවට කැන්ටිම වහලා... ඉන්ටවල් එකට විතරයි අරින්නේ .. `` කොල්ලා පොර ටෝක් එකක් දෙනවා.

´´ අඩෝ මේ .. උඹ ගිහින් අන්කල් ට කථා කරපං ..  පණ්ඩිතයා වෙන්නෙ නැතුව... `` ගයානුත් අරින්නෙම නෑ.
´´ මහත්තයා ඇතුළෙ වැඩක්...`` කොල්ලා සත පහකට ගණන් ගන්නෙ නැතුව උත්තර දෙනවා. දැන් තේමියගේ ඉවසීමේ කටුව බඩගිනි කටුව පාස් කර ගෙන යනවා.

´´ අඩෝ.. කැ... උඹ කඩේ අයිතිකාරයා වෙන්නෙ නැතුව ගිහින් අන්කල් ට එන්න කියපං.. `` තේමිය කොල්ලාගෙ ටී ෂර්ට් එකින් අදින ගමන් කිව්වා.

´´ මල්ලි මේ ෂර්ට් එකින් අදින්න ඇවිත් වැඩ වරද්ද ගන්න එපා...``

´´ ආ උඹ චන්ඩියෙක් ද... වරෙන් ... ``

ගයාන් පැනපු ගමන් කඩේ කොල්ලාගේ මූණට ගහගෙන ගහගෙන යනවා. කොල්ලත් වැඩකාරයෙක්. කොල්ලා ගහපු පාරකින් ගයාන් බිමටම වැටුණා. ක්ෂිතිජ ටත් බලාගෙන ඉන්න බැරි නිසා පිටිපස්සෙන් ඇවිත් කොල්ලාව බදා ගත්තා. සාහිර් තේමියත් එක්ක කොල්ලාට දිගට හරහට ගහනවා. සද්දෙ වැඩිකමට කඩේ ඇතුළෙ හිටිය අන්කල් එලියට පැන්නා.

´´ හපොයි.. ඔය කොල්ලව මරන්නද උඹලා හදන්නේ... අතඇරපල්ලා ඕකව... `` අන්කල් යටි ගිරියෙන් බෙරිහන් දෙනවා.

වලිය ඉවරවෙන පාටක් නෑ. අන්කල් ගේ සද්දෙ එක පාරට නැවතුණා. තේමිය යයි සාහිරුයි එක පාරට කොල්ලට ගහන එක නැවැත්තුවා. සීන් එක මොකද උනේ කියලා බලන්න පිටිපස්ස හැරුණු ක්ෂිතිජ ගේ පිටට එක පාරටම හෙණ ගෙඩියක් වගේ පාරක් වැදුණා.

´´ඉවරයි... කෙලිය තාප්පෙටම `` ක්ෂිතිජට එක පාරටම හිතින් කියවුනේ මෙන්ඩිස් සර් දැකපු නිසයි. මෙන්ඩිස් සර්ට කොල්ලො නම දාලා තිබ්බේ ´´කසිප්පුවා`` කියලා. කොයි වෙලාවෙත් ඇස් දෙක රතු කරගෙන මරුමුසා වගේ ඉන්න මෙන්ඩිස් සර් තවත් උඩ ගියේ ළගදි වයිස් ප්‍රින්සිපල් පෝසට් එක ලැබුණු නිසයි කියලා ඉස්කෝලේ ලොකු රාවයක් පැතිරිලා තිබුණා.

මෙන්ඩිස් සර් පැනපු ගමන් තේමියටයි සාහීර් ටයි තරු විසි වෙන්න කම්මුල් පාරවල් දෙකක් දුන්නා.

´´ තෝත් මෙහෙ වරෙන්... `` ඊළඟ පාර තමන්ට බව දැනගත්ත ක්ෂිතිජගේ ඇස් දෙක නිකම්ම පියවුණා. දකුණු කම්මුල රත් කරගෙන මෙන්ඩිස් සර්ගේ ගොරෝසු අතේ ඇගිලි පහම ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් වගේ ස්ටිකර් වෙන හැටි ක්ෂිතිජට හොදට දැණුනා.

කම්මුල් පාරේ සද්දේ ගෙදරටම ඇහෙන්න ඇතියි කියලා ක්ෂිතිජට හිතුණේ කම්මුලේ වේදනාව උපරිම තත්වයක තිබුණු හින්දයි.

´´ උඹලා දැන්ම මදාවියො වෙලා නේද... ඇටෙන් පොත්තෙන් කිරි එන්න පටන් ගත්ත විතරයි... චන්ඩි වෙලා අහිංසක කොල්ලෙක් ට හයිරං දානවා.... වැඩිය දැගලුවොත් කලිසම් ගලවලා ඉස්කෝලේ ඉස්සරහ දණගස්සලා තියෙනවා.... `` මෙන්ඩිස් සර් සද්ද පූජාව පටන් අරන්. ඇටෙන් පොත්තෙන් කිරි එන කථාවේ තේරුම මොකක්ද කියලා සර්ගෙන් අහන්න හිතුණත් කිරි කෙසේ වෙතත් තියෙන ඇටකටු කූඩුවෙන් තව ඇටයක් දෙකක් අඩු කරගන්න ක්ෂිතිජට ආසාවක් නැති නිසා ඒ ප්‍රශ්නෙ අහන්නැතිව ඉන්න ක්ෂිතිජ හිතා ගත්තා.

´´ සර් මොකක්ද ප්‍රශ්නේ.... `` මල කෙලයයි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ කියලා ක්ෂිතිජට හිතුණෙ ගණන් සර් කැන්ටිම පැත්තට ආපු නිසයි.

´´ මුන් ටික සුමනදාස සර්ගේ පංතියෙද ?``

දැන් නම් පරිප්පු නැව පිටින් අන්ලෝඩ් කරන්න හදන්නෙ කියලා ක්ෂිතිජට හිතුණා. දෙයියොත් ඇයි අපි වගේ අහිංසකයන්ට මෙහෙම කරුණා කරන්නෙ කියලා හිතන කොටම

´´ ඔව් ඔව් සර් ... දැන් සර් එන්න කියලා කිව්ව නිසා තමයි මම පංතියෙන් යන්න දුන්නේ ... `` සුමනදාස සර් ගෙඩි පිටින් ක්ෂිතිජලව පාවා දෙනවා.

´´ මම එන්න කියලා කිව්ව කියලද උඹලා පංතියෙන් පැන්නේ.... වල් ...... නැගිටපං `` බිම වැටිලා හිටිය ගයාන්ව ඇදලා ගත්ත වයිස් ප්‍රින්සිපල් සර් ගයාන් ගේ බඩ මිරිකන්න පටන් ගත්තා. ගයාන් වේදනාවෙන් ඇඹරෙනවා.
´´ මචං තුන්වෙනි දෙයියොත් වඩිනවා `` තේමිය ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. මස්වැද්දා කැන්ටිම පැත්තට වඩිනවා. දෙනකොට දෙන දෙයියෝ උඩ පැන පැන දෙනවා කියලා ක්ෂිතිජ හිතුණා.

´´ ආ.... උඹලා සේරම ඔෆිස් එකට පලයල්ලා... මම එනකං හෙල්ලෙන්නෙ නෑ.... `` වැඩේ ෆයිල් වෙන්නයි යන්නෙ කියලා ක්ෂිතිජට හිතුණත් මස්වැද්දා කරළියට සම්ප්‍රාප්ත වෙන්න කලින් මාරු වෙන්න ලැබිච්ච එක ගැන ක්ෂිතිජත් යාලුවෝ ටිකත් සතුටු වුණා.

´´ රිදුණද ? `` සාහිර් ගයාන්ගෙන් ඔෆිස් එකට යන ගමන් ඇහුවා.

´´ නෑ මාර ආතල් එකක් ආවේ... කසිප්පුවා බඩ මිරිකද්දි... අනෙ මගෙ කට අවුස්ස ගන්නෙ නැතිව හිටපං ``

´´ මම හිතන්නෙ උගෙ ගෑනි ආසාවටවත් මිරිකන්න දෙන්නෙ නැතුව ඇති.. ඒකයි ඌ උඹේ බඩ මිරිකන්න ඔච්චරම ආසා ``

තේමිය ගයාන්ට තව ටිකක් මල පැන්නුවා.

කට්ටිය එක්කම ඔෆිස් එක ගාව වයිස් ප්‍රින්සිපල් එනකං පැය භාගයක විතර කට්ටක් කෑවා. ටික වේලාවකින් වයිස් ප්‍රින්සිපල් සර් ආවා.

´´ උඹලට පංතියෙ ඉන්න නෙ බැරි... වෙන වැඩකුත් නෑනේ.... කට්ටියම එක්ක ... මේ.. ධනපාලගෙන් බාල්දි දෙකක් ඉල්ලගෙන පහල ටොයිලට් පේලිය හෝදනවා... හරිද ?... ධනපාල ... අර බාල්දි දෙකක් දෙන්න... ``

මොකෝ ඉතිං බෑ කියන්නයැ. බෑ කිව්වොත් ඔයිට වඩා හොඳ පෝරියල් එකක් කන්න වෙන නිසා කට්ටියම ධනපාල පස්සෙන් ගියා.

´´ මොකෝ වලියක් දාගත්ත ද? `` ධනපාලයා ප්‍රශ්න විචාරත්මක වටයක් පටන් ගන්න හදන්නෙ.

´´ ඔව් අයියේ... අර කැන්ටිමේ කොල්ලත් එක්ක පොඩි වලියක් දා ගත්තා `` සිරිත් පරිදි ගයාන් පැනලම උත්තර සප්ලයි කලා.

ගෙදරදි වැඩේ කරලා අඩුම ගානේ වතුර එකක් ගහන්නෙ නැති කොල්ලො ටික අන්තිමට සෙන්ට් සුවඳින් අඩුවක් නැති ටොයිලට් පේලියක්ම හෝදන්න පටන් ගත්තා.

´´ හොඳට අතුල්ල ලා හෝදන්න ඕන... `` ධනපාලයා කොලිටි චෙකින් කරනවා.

´´ අනේ උඹේ.... ...... .... `` කියලා තේමිය කිව්ව විතරයි ධනපාල එකපාරටම රහත් උනා.

තවත් කොටසක් 2011-06-13 දින බලාපොරොත්තු වන්න


Coming Up Next - 2011.06.13

No comments:

Post a Comment