Sunday, July 17, 2011

නව වෙනි කොටස

ඉස්කෝලේ ගේට්ටුව ගාවට ආපු ක්ෂිතිජ  ටිකක් නැවතිලා හිටියේ යාලුවෝ සෙට් එක එනකං. වෙච්ච වැඩේ ගැන ෆුල්ම අප්සට් එක උනේ ඉස්කෝලේ නොගිහින් සතියක් ගෙදර නවතින විදියක් ගැන කල්පනා කරන්න ඕන වුණු හින්දයි. ක්ෂිතිජගේ අම්මා එච්චර අප්සට් එකක් නැති උණත් තාත්තා ටිකක් විතර නීතිකාරයා නිසා මතුවට ඇතිවිය හැකි ප්‍රශ්න ගැන පුංචි බයක් ක්ෂිතිජගේ හිත ඇතුලෙන් කාන්දු වෙන්න පටන් ගත්තා. යාලුවො සෙට් එක නං ළඟට ආවේ හිනා වෙවී.

´´ මස්සිනා මොකද .. නිකං බය වෙලා වගේ... ``

´´ බය වෙලාදත් කියලා අහනවා.. ගෙදරට මොකද කියන්නේ ... ``

´´ උඹට විතරක් නෙවී නේ ඕක උනේ.. අපි ඕක්කෝන්ටම නේ.. ``

අකිල එහෙම කිව්වෙ ක්ෂිතිජව සනසන අදහසින්.

´´ හරි කියහං.. දැන් මොකක් කියලද ගෙවල් වලට කියන්නේ ?``

´´  මචං නව අදහස් එන්න නං.. මොනවා හරි කන්න ඕන.. නැත්තන් ඔලුවේ පිස්ටන් වැඩ කරන්නෙ නෑ... `` ආසිරි එහෙම කිව්වෙ බොරුවටම නෙමෙයි කියලා යාලුවො හැමෝන්ටම තේරුණා.

´´ මටත් බඩගිනියි බං.. උදේට කාපුවා අරූගේ දේශනය අහපු ගමන් වාෂ්ප වෙලා ගියා.. ``

´´ ඒක තමයි .. උඹෙන් පිටවුණු වාෂ්පෙ සුවඳ මට හොදට දැණුනා.. මම  උඹේ පිටිපස්සෙ නේ හිටියේ `` ගයාන් එහෙම කියන කොට ක්ෂිතිජගේ මූණ ඇඹුල් වෙලා ගියා.

´´ කාපුවා දිරවා ගන්න බැරි වෙලා ඉන්න කොට උඹලා තව අඹරන්නත් කථා කරනවා.. `` රුචිර උත්තර දුන්නේ තරමක් තරහින්.

´´ යකෝ කන එක තමයි මිනිහෙකුට තියෙන පරම ලාභෙ... ඕචචරයි බං මිනිහෙක්ට ඉතිරි වෙන්නෙ... බලහං අපේ කැන්ටිමේ අංකල්කාරයා දිහා.. ඌ කන බොන එකෙක් කියලා ඇගේ හැටියෙන්ම පේනවා.. උඹලා දැක්කම සෝමාලියාවේ නටඹුන් වගේ.. මොකක්ද බං..`` සහන් කිව්ව කථාවට හිනා නොවී හිටියේ රුචිර විතරයි.

´´ උඹෙත් ඔය ඔරොප්පු මූඩ් එක තියලා යමං ජෝ කාරයාගේ කඩේට... කැන්ටින් එකට යන්නත් දැන් බෑනේ... `` සාහීර් එහෙම කියන ගමන් ඉස්සර උණා.

´´ යමල්ලා බං... අපායටත් කලින් යන්න ඕන ලූ.. `` ආසිරි එහෙම කිව්වෙ කට්ටියව ටිකක් උනන්දු කරවන්න.

ජෝ අංකල්ගේ කඩේ තිබුණේ ඉස්කෝලේ ඉස්සරහමයි. ජෝ අංකල් කියන්නේ අවුරුදු පනහක් විතර වෙන තරුණයෙක්. පොර කඩේට එන කොල්ලොත් එක්ක හැමදාම තර්ක කරන්නෙ කසාද බැන්ඳපු නැති ඕන එකෙක් හැමදාම තරුණයෙක් කියලා.

´´ මොනවද කන්නේ.. `` ගයාන් ඇහුවේ බරාස් ගා ගෙන පුටුවක් ඇදලා ගන්න ගමන්.

´´ මට මාලු පාන්.. උඹලා... ``

´´ අංකල් අද කිඹුලා නැද්ද ? ``

´´ කිඹුලා අද කුණු ඇලේ ලු සාහීර්.. `` ආසිරි සාහීර් කාරයාව නග්ගන්න ෆුල් ට්‍රයි එක.

´´ කිඹුල් බනිස් නෑ... මාලු පාන්.. බිත්තර පාන්... ප්ලෙන් බනිස් විතරයි තියන්නේ... ගේන්න ද... ``

´´ ගේන්න ගේන්න අංකල් ... උගුරෙන් පහළට යන ඕන දෙයක් අපි කනවා... ෆුල් සාගතෙන් ඉන්නේ.. ``

ජෝ අංකල් වැඩිය කොල්ලො එක්ක බජනේ තියා ගන්නෙ නැත්තෙ  එහෙම උනොත් අංකල් ගේ බිස්නස් වලට පාඩු වෙන හින්දයි.

´´ දැන් ජෝ... අංකල්.. අංකල්ගේ වයස කීයක් විතර ඇතිද ? `` කසුන් අංකල් ව නග්ගන්න හිතාගෙන ඇහුවා.

´´ ඇයි උප්පැන්න සහතිකේ ලියලා දෙන්නද ? `` අංකල් කාරයට පලවෙනි ප්‍රශ්නෙන්ම මල පූට්ටු වෙලා.

ක්ෂිතිජ මාලුපාන් ගෙඩියක් කට ඇතුළට ඔබා ගන්න ගමන් කසුන් දිහා හැරිලා ඔලුව වැනුවේ ආපු වැඩේ කරගන්න ඕන නිසයි.

´´ මචං ෂේප් එකේ උඩ බලපං.. `` ගයාන් ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.

කෑම ණයට දෙනු නොලැබේ. ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම අහිමි වේ.

පොල්ගෙඩි අකුරෙන් කඩේ උඩ ගහලා තියෙනවා.

´´ දැන් ෂේප් එකේ... කැෂියර් කූඩුව පහළ බලපං.. ``

වැඩිවුණු පිටි මිළ නිසා ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුවූ බව කාරුණාවෙන් සලකන්න.

´´ මචං.. උඹ ගාව සල්ලි කීයක් තියෙනවද ? `` ක්ෂිතිජ ගයාන්ට ලං වෙලා ඇහුවා.

´´ මං අද පර්ස් එක ගෙනාවේ නෑ බං.. උඹ ගාව කීයක් තියෙනවද ? ``

´´ රුපියල් විස්සක් විතර තියෙනවා.. අරුන් ගාව තියෙනවද දන්නෙ නෑ... ``

´´ අංකල් තව මාලු පාන් ගේනවද ? `` සහන් ජෝ අංකල් ගෙන් තව මාලු පාන් ඉල්ලනවා.

´´ ෂුවර් එකට උන් ගාව ඇති බං... අපි කලබල නොවී ඉමු...``

´´ ඔය ළමයි කාලා ඉවරෙයි.. ටී ද ප්ලේන් ටී ද බොන්නේ ... ``

´´ මට ටී.. උඹට... ``

´´ මට ප්ලේන් ටී.. ක්ෂිතිජට ටී එකක් .. මූ ඉතිං ගැස්ට්‍රික් කාරයා නේ අංකල් ... ``

´´ අපි නං තව කනවා... උඹලා ගේ බොක්කවල් පොඩි වැඩියි බං..``

´´ කාපං.. කාපං.. අපි අල්ල ගත්තායැ``

´´ ඒක නෙවේ අංකල්... මොකක්ද මේ මිල සංශෝධන පණත.. `` ආසිරි දැන් තමයි අංකල්ගේ මේසේ අලවලා තියෙන දැන්වීම දැකලා තියෙන්නෙ...

´´ පිටි මිල වැඩි වුණානේ පුතා... දැන් පරණ ගානට කෑම දෙන්න බෑ... බේකරියෙන් අපිට දාන්නෙත් පරණ විකුණපු ගානට.. ``

´´ ආ.. ඇත්තද අංකල්.. එතකොට කීයක් විතර වෙනවද.... මේ.. මාලු පාන්... එක... `` ආසිරි යා ඇගට පතට නොදැනී අංකල් කාරයාගෙන් අහගන්නවා.

´´ ආ.. මාලුපාන් එකක් රු. විස්සයි.. බිත්තර පාන් එක විසිපහයි.. මොකද බිත්තර ගණන් ගියානේ... ``

අංකල් එහෙම කියාගෙන කඩේ ඇතුළට ගියේ අනිත් උන්ට තේ හදන්න. ක්ෂිතිජයි ගයානුයි මුණට මූණ බලා ගත්තේ ඉස්කෝලේ කැන්ටිමේ ගාණට වඩා ඩබල් මේ යකා ගාන වැඩි කරලා තියෙන හින්දයි.

´´ වි.. ස්... ස.. යි.. `` ආසිරියගේ මාලු පාන් එක බාගෙට කට මැද හිර උණා. සහන් එක පාරට සාහීර් දිහාට හැරුණා.

´´ සාහීර් උඹ ගාව කීයක් තියෙනවද ? ``

´´ පනහක් තියෙනවා.. කසුන් ගාව... ?``

´´ මං අද අකිලයත් එක්ක ස්කූල් වෑන් එකේ ආවේ බං... සල්ලි ගෙනාවේ නෑ.. ``

´´ හුටා.. `` ආසිරි එහෙම කිව්ව නෙවෙයි ඉබේටම කියවුණා.

´´ උඹලා දෙන්න ගාව කීයද ? `` සහන් ගයාන් ගෙන් එහෙම අහන කොටම අංකල් කාරයා තේ අරන් ආවා. ක්ෂිතිජ හස්ත මුද්‍රාවකින් විස්සයි කියන පණීවිඩේ දුන්නා.

කට්ටයම වචනයක්වත් කථා නොකර තේ බොන්න පටන් ගත්තා.

´´ ඉස්කෝලේ වෙලාවට කඩවල් ගානේ යනවට සර්ලා බනින්නෙ නැද්ද ඔය ළමයිට... ?``

´´ නෑ අංකල් අදඅ පි ෂෝර්ට් ලීව් දාලා ඉන්නේ...  `` ගයාන් අංකල්ට උත්තර දැන්නා.

´´ ඒක නෙවෙයි මචං .. දැන් අපි ගෙවල් වලට මොකද කියන්නේ. තේ උගුරක් කටට ගන්න ගමන් කසුන් ඇහුවේ අකිලගෙන්.

´´ අපි කියමු ඉස්කොලේ ස්පෝර්ට් මීට් නිසා... අපි මේ සතියේ ඉස්කෝලේ යන්නෙ නෑ.. කියලා.. `` රුචිරයා ට ගණ දෙවි නුවණ පහළ වෙලා.

´´ හරි බං... ඒත් ඒක ඇත්තටම තියෙන කාලෙට අපි මොකද කියන්නෙ... `` සාහිර් වේලාවකට ප්‍රශ්න පත්තරයක්.

´´ ඒක ඒ වේලාවට බලා ගනිං.. යකෝ මූදට හත් ගොව්වක් තියාගෙන අමුඩ ගහන්න එපා... `` ආසිරියට මල පැනලා.

´´ අංකල්.. අපේ ගාන කීයද ? `` ක්ෂිතිජට දැන් ඕක්කෝන්ටම වඩා ප්‍රශ්නේ උනේ ඒක.

´´ ආ... තේ වලටයි.. බනිස් වලටයි... ඕක්කොම දෙසිය විසි තුනයි..``

´´ ආ... ඇත්තද... අං..කල්...`` ක්ෂිතිජ ගයාන්ගේ මූණ බැලුවා.

´´ හරි.. හරි.. කට්ටිය ගාව තියෙන සල්ලි එවන්න... මම මදි හරිය දාන්නං...`` සහන් කිසි  ගාණක් නැතිව කියනවා.

´´ අපෝ ඇති...  යාතං... උගෙ ගාව සල්ලි ඇති... `` ක්ෂිතිජ ගයාන්ගේ කණට කෙඳුරුවා.

´´ හ්ම්.. ``

කොල්ලො ටික එක එකා සහන් ගාවට සල්ලි එව්වා.

´´ ආ... මෙතැන එකසිය දහයයි නේ තියෙන්නෙ... අංකල් පන්සීයක් මාරු කරන්න තියෙනද... `` සහන් අංකල් කාරයා ගෙන් ක්වේෂ්චන් කරා.

´´ අයියෝ පුතා.. දැන් නේ කඩේ ඇරියේ.. ඔයාලා නේ මුලින්ම ආවේ ලාච්චුවේ නෑ... ``

´´ ආ.. අවුලක් නෑ.. මම ඉස්කෝලේ ඕ.බී. ඔෆිස් එකින් මාරු කරන් එන්නම්... උඹලා මම එනකං ඔහොම හිටපල්ලා.. ``

´´ ඉක්මනට වරෙන් එකේ ඉන්න අක්කාට ලයින් පාර දාන්නෙ නැතුව ``

´´ හරි හරි බං.. ``

සහන් එහෙම කියා ගෙන යන්න ගියා. කඩේට කොන්වන්ට් එකේ මිස්ලා වගයක් තේ බොන්න ආපු නිසා අංකල් බොහොම ෂේප් එකේ කොල්ලො දිහා බැලුවා.

´´ පුතාලා අනේ තරහා නැතිව පොඩ්ඩක් ඉඩ දෙනවද .. මේ මිස්ලට.. තේ බොන්න... ``

´´ ආ... හරි... හරි අංකල් .. කිසි අවුලක් නෑ... එන්න.. මිස්.. එන්න.. වාඩි වෙන්න... අපි තේ බීලා ඉවරයි..``
රුචිරයා ට කොන්වන්ට් එකේ කෙල්ලො විතරක් නෙවෙයි, මිස්ලාට උණත් පැනලාම දෙනවා.

කට්ටයම කඩේ ඉස්සරහට ගිහින් හිටගත්තා.

´´ කෝ බං.. මූ.. සල්ලි මාරු කර ගන්නවද.. සල්ලි පැල කරනවද  ? `` ක්ෂිතිජ කිව්වේ නොරිස්සිලෙන්.

අංකල් කාරයාත් කොල්ලො සෙට් එක දිහා රබර් ඇහැ දාගෙන බලන් ඉන්නේ.

´´ අන්න ඌ අත වනනවා... `` කසුන් දැක්කා සහන් දුර ඉදන් කට්ටියට අත වනවා.

´´ උඹ ගිහින් බලපං මොකද කියලා... `` ගයාන් කසුන්ටම කිව්වා.

´´ ඔය ළමයි යන තැනක සල්ලි දීලා යන්න.. `` අංකල් කඩේ ඇතුළේ ඉදන් බර බරේ දානවා.

´´ අයියෝ අංකල් .. එක්කෙනයි යන්නේ... අපි ඉන්නවා... ``

කසුන් සහන්ගේ දිහාවට දුවලා ගියා. දෙන්න මොනවාදෝ කථා කරනවා. ක්ෂිතිජ දැක්කා කසුන් ඔලුවට අත තියාගන්නවා. කසුන්  ඉක්මන් ගමනින් කට්ටිය දිහාවට එනවා.

´´ මචං එනපොට හොඳ නෑ වගේ... `` ගයාන් ක්ෂිතිජට ලං වෙලා කිව්වා.

කසුන් කඩේ ගාවට මිටර් දහයක් විතර මෙහායින් නැවතුණා.

මොකෝ කියලා ආසිරි ඇහුවේ කසුන්ගෙන් ඔලුවෙන්.

´´ දු....ව.....පා.....ං.................................... `` කසුන් එක පාරටම බෙරිහන් දීලා කෑගැහුවා.

පොලිස්කාරයෙක්ගේ විසිල් එකට අරින ප්‍රයිවට් බස්කාරයෝ වගේ කොල්ලො ටික එක පිම්මට ඔලුව හැරුණ හැරුණ අතේ දුවන්න පටන් ගත්තා.

´´ යකෝ... වේ**.... ගේ පුතාලා ටික...සල්ලි ගෙවලා පලයල්ලා...`` අංකල් කඩේ ඉස්සරහට දුවගෙන එනගමන් කෑගැහුවා. ඒත් ඒ වෙනකොට කොල්ලො ටික පාරේ පේන්නවත් හිටියේ නෑ...

**********
ලබන සතියේ (2011.07.25) අලුත් ගණන් පංතිය කියවන්න.


FLASH VERSION DOWNLOAD - http://www.mediafire.com/file/fdmet4hd3zc6bl9/Sitha%20Gawa%20Oba%20Inna_2011.07.18.swf

No comments:

Post a Comment