Sunday, July 31, 2011

එකලොස් වන කොටස

ක්ෂිතිජ අද ඉස්කෝලේට ආවේ ටිකක් පරක්කු වෙලා. අලුතින් ඕලෙවල් කරන්න ඉස්කෝලෙට ආපු කොල්ලො පංති වලට එන දවස අද. ඒක නිසා කවුරුවත් ක්ෂිතිජල එනවද නැද්ද කියලා චෙක් කරන්න උත්සහ කරන්නෙ නැති බව පංතියේ හැමෝම වගේ දැනගෙන හිටියා. ක්ෂිතිජ පංතියට එනකොට ගයාන් හිටියේ මාලුපාන් එකකට වැඩේ දෙන ගමන්. මාලු පාන් එකෙන් භාගයක් කඩපු ගයාන් ඉතිරි භාගෙ ක්ෂිතිජ දිහාවට දිග් කලා.

´´ ආ.. කාපන්.. ``
´´ මචං අලුත් උන් ගොඩක් පංතියට එනවද ? ``
´´ මං හිතන්නෙ ඔව්.. එක පංතියකට හය දෙනෙක් විතර වැටෙයි ක්ෂිතිජ.. ``
´´ අලි ඔලු කාරයෝ නැත්තම් හොදයි... ``
´´ හ්ම්... ඒක ඇත්ත.. ``
´´ කෝ මචං.. මිස්ලා කවුරුවත් පේන්න නැත්තේ.. ``
´´ ආ.. එගොල්ලො හෝල් එක ඇතුලෙ අලුත් උන් එක්ක මීටිමක්... `` එතැනට ආපු ආසිරි යාලුවො දෙන්නට සෙට් උනා.
´´ මචං අලුත් උන් ආවාම පොඩි රැගක් දෙමුද .. ``  එතැනට ආපු මහීල් කියපු කථාවට ක්ෂිතිජට හිනා ගියත් ගයාන්ට නම් මල පැන්නා.
´´ ක්ෂි මචං උනුත් කොල්ලො නේ.. ජරා වැඩ කරන්න එපා.. ``
´´ හරි.. හරි බං.. මං නිකං කිව්වේ.. ක්ෂිතිජ උඹ මොකෝ කියන්නේ.. ``
´´ පොඩි රැගක් දෙමු.. නැත්තං කිසි ගතියක් නෑනේ... මාලුපාන් අරන් දෙන්න කියමු ඉන්ටවල් එකට.. ``
´´ චි මල පෙරේතයා... තොට කන්න තියෙනවා නං.. වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.. මෙලෝ රහක් නෑ බං.. `` ගයාන් එකසිය ගාණට කෑ ගහනවා.
´´ මේ ..මෙතැන තුනෙන් දෙකේ බහුතරේ තියන්නෙ රැග් එක දෙන්න ඕන කියලා.. ඒක නිසා මාලු පාන් රැග් එකක් දෙමු උන්ට.. යකෝ ..ඕන නං රුපියල් සීයක් යයි..``
´´ ඔව්.. දැන් ජෝ කාරයාගේ කඩේ පැත්තෙ යන්නත් බෑ.. අහුවුණොත් ඌ අපිව මාලුපාන් ඇතුලේ පේස්ට්‍රි හදන්න ගන්නවා.. අද දවල් කෑම එක උන්ගෙන් ෂේප් වෙමු... ``
´´ හරි.. හැබැයි අද විතරයි.. හැමදාම තියාගන්න බෑ.. ``
´´ හරි.. හරි බං.. අපෝ.. උඹ නිකං චීත්ත කෑල්ලක් වෙන්න හදනවා නේ බං.. ``
කාලය ටිකෙන් ටික ගෙවිලා යනවා. ඒත් අලුත් කොල්ලො ටික පංතිවලට එන පාටක් පෙන්න නෑ. ඉන්ටවල් එක ඉවර වෙන බෙල් එක ගැහුවත් කවුරුවත් ආවේ නැති නිසා ක්ෂිතිජලට ඉන්න උනේ බඩගින්නෙ.
´´ මදැයි අලුත් උන්ගෙන් කන්න බලන් හිටියා.. උඹලට හොඳ වැඩේ.. ``
´´ ඒක නේ බං..ෂික්.. ``
´´ මචං පොලිස් කාරයෙක් එනවා.. ``
´´ මල්ලි.. දහය බී.. පංතිය මේකද ... `` ශිෂ්‍ය නායකයා ඇහුවේ මහීල් ගෙන්.
´´ අයියට ඕනෙ නං.. දහය එස් කියලා දා ගන්න අවුලක් නෑ.. `` කවදත් ඇදගෙන කොකු දාගන්න දක්ෂ කසුන් ශිෂ්‍ය නායකයට උත්තර දුන්නා.
´´ මේ තමුසෙ පැනලා දෙන්නෙ නැතිව ඉන්නවද.. මං ඇහුවේ මුගෙන්.. මොකෝ තමුසේ මුගේ තාත්තා ද? ``
´´ නෑ.. මහප්පා.. `` කවුදෝ එකෙක් මේසයක් යට ඉදන් කෑගැහුවා.
´´ ළගදීම දරු කමට හදා ගන්නලු ඉන්නේ...... `` තව එකෙක් එහා කෙළවරෙන් කෑ ගහනවා.
තව හිටියොත් හොඳටම චාටර් වෙන බව දැන ගත්ත ශිෂ්‍ය නායක අයියා ආපහු යන්න ගියේ මොනවදෝ තමන්ටම කියාගන්න ගමන්.
වේලාව හිමීට ගෙවිලා ගියා. එක පාට අඩි සද්ද ගොඩක් ඇහෙන්න පටන් ගත්ත නිසා කට්ටියම ටිකක් විතර සයිලන්ස් වුණා.
´´ආයුබෝවන් ළමයි...`` ක්ෂිතිජලගේ සිංහල මිස් පංතියට ඇතුල් උනේ අත් දෙක එකතු කරගෙනමයි. පංතිභාර මිස්ට වඩා චන්ද්‍රිකා මිස්ට කොල්ලො ටික කැමැති උනේ මිස් හොදට සිංහල උගන්නපු නිසාම නෙවෙයි. මිස් ටිකක් තරුණ අනිත් අයට වඩා කැපිලා පේන කෙනෙක් නිසයි.
´´ අද ඉදන් මේ තුන් දෙනාත් ඔයාලාගේ පංතියේ... වෙන ඉස්කෝලෙක ඉදන් ආවට අද ඉදන් මේ අයත් ඔයාලගේම සහෝදරයෝ වගේ සලකන්න ඕන.. තේරුණද ?.. මේ අයට මොනවා හරි ඕන උනොත් .. පාඩම් තේරුණේ නැත්තම්.. ඔයාලා උදව් කරන්න ඕන.. හරිද... `` මිස් දිගටම බණ පටිය දිග ඇරලා.
´´ යකෝ මෙයා හිතං ඉන්නෙ අපි මුන්ගේ කැපකරු මා පියෝ කියලද දන්නේ නෑ.. `` රුචිරයා ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.
´´ හරි.. මේ ඉන්නේ අජිත්.. මෙයා අචල.... ආ මේ පුංචි යාලුවා ආනන්ද.. `` මිස් එහෙම කියාගෙන කට්ටයව පංතියට අඳුන්නලා දුන්නා.
´´ අරුගේ කොහෙද දන්නෙ නෑ පුංචි....`` රුචිරයා ආපහු ක්ෂිතිජගේ කණට ලං කරලා එහෙම කියනකොටම මිස් ඒක දැක්කා.
´´ ක්ෂිතිජ.. රුචිර ට මොකක් හරි... ප්‍රශ්නයක්ද? ``
´´ නෑ.. මිස්....``
´´ මිස් ... රුචිර අහනවා... මෙයාලගේ උප්පැන්න සහතිකේ ගෙනත් ද කියලා.. පැටිකිරිය බලන්න....`` කසුන් කාටත් ඇහෙන්න කිව්ව කථාවට පංතියටම හිනා ගියා. අලුත් උන් ටිකත් බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ හිනා උනා.
´´ හා.. හා.. විහිලු ඇති... ඔය ළමයි දැ ගිහිං ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්න.. මටත් පරක්කු වෙනවා... ආයුබෝවන් ළමයි.. ``
´´ ආයුබෝවන් මිස්`` කට්ටිය එක පිච්  එකටම උත්තර දුන්නා.
´´ වරෙන් මචං... අපේ සෙට් එකට.. `` ගයාන් තුන් දෙනාවම ඇදලා ගත්තා තමන්ගේ මේසේ ගාවට. මේසේ ඉඩකඩ ටිකක් අඩු උනත් කාටත් එක ලෙස සලකන පුරුද්දක් ඉස්කෝලේ කොල්ලො ගාව තිබ්බා.
´´ උඹලා කොයි ඉස්කෝල වලින්ද ? `` අකිල කට්ටයව ඉන්ටවිව් කරන්න පටන් ගත්තා.
ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ධනපාලයා බෙල් එක ගහපු නිසා කට්ටිය ඩියුටි මාක් කරන තැන්වලට යන්න පිටත් උනා.

**********
ලබන සතියේ (2011.08.08) රැග් දෙන්න ආපු අයියලාගේ ඉතිරි කථාව කියවන්න


Episode 11 - FLASH VERSION DOWNLOAD: 

http://www.mediafire.com/?aywq​ejtfe809dzb






(සියලු හිමිකම් ඇවිරිණි.) සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ-2011. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඕනෑම මාධ්‍යක නැවත පළ කිරීම, මුද්‍රණය සඳහා කරුණාකර කතෘ අමතන්න. දුර. 0773-951015

No comments:

Post a Comment